නිදහස් අධ්‍යාපන සංකල්පය මූලික කොටගත් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය රාජ්‍ය සංවර්ධන අනුග්‍රහයන් සහිතව වර්තමානය වන විට වඩා හොඳ මට්ටමකට ළඟා වී ඇත. පසුගිය වසර 74 ක පමණ කාලය තුළ, මිලියන ගණනක් වූ වටිනා වෘත්තීයවේදීන් මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, ඔවුන් සැබවින්ම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මක බව ලොවට හෙළි කරයි. කෙසේ වෙතත් මේ වනවිට මුළු ලෝකයම වෙනස් වෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවද සෑම විටම පහසුකම්, පද්ධති සහ තාක්ෂණයන් ඇතුළු මේ සෑම දෙයක් සමඟම සමාන්තරව ගමන් කිරීමට උත්සාහ කළ යුතුය. එවිට වත්මන් අධ්‍යාපන ක්‍රමයේ උසස් බව, ගුණාත්මක බව සහ හැකියාව තව තවත් වැඩිදියුණු වනු ඇත.
සහස්‍ර දෙකකට පමණ පෙර ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව අධ්‍යාපනික විකාශනය පිළිබඳ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. ඉන්දියාවෙන් බුදුදහම පැමිණීමත් සමඟ බෞද්ධ විහාරස්ථානවල අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත වූ බවට විශ්වාස කරන අතර දහනවවන සියවසේදී ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගමනයත් සමඟ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නවීන අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කර ඇත. එකල අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන් අතර වර්ෂ 1938 දී C.W.W කන්නන්ගර මහතා විසින් දිවයිනේ සියලුම දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීම උදෙසා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා නිදහස් අධ්‍යාපන වැඩසටහන වැඩි වැඩියෙන් සහාය වී ඇත. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂි ස්ථානයකට ගෙන ඒම සඳහාද නිදහස් අධ්‍යාපන ක්‍රමය මහත් සේ ඉවහල් වී ඇති බවට සාක්ෂි ලෙස සාක්ෂරතා අනුපාතය, ස්ත්‍රී-පුරුෂ යන දෙපක්ෂය සඳහාම අධ්‍යාපනයේ ඇති සමානාත්මතාවය සහ පාසල් ලියාපදිංචි කිරීමේ අනුපාතය යනාදි කරුණු දැක්විය හැකිය. තවද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ වයස අවුරුදු 5ත් 16ත් අතර සෑම දරුවෙකුටම නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවතී.
ඒ අනුව පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය මට්ටම් පහකට බෙදා ඇත.
- ප්‍රාථමික අධ්‍යාපනය (1 සිට 5 ශ්‍රේණි)
- කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය (6 සිට 9 ශ්‍රේණි)
- ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය (10 සහ 11 ශ්‍රේණි)
- විද්‍යාලීය මට්ටම (12 සහ 13 ශ්‍රේණි)
- උසස් අධ්‍යාපනය
සියලුම දරුවන් අවම 9 ශ්‍රේණිය දක්වා වත් පාසල් පැමිණිය යුතු බවට රජයේ රෙගුලාසියක් පවතී. එලෙසම, අධ්‍යාපන අමාත්‍යාංශය තවමත් නිර්දේශ කරනු ලබන්නේ සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අධ්‍යාපන සහතිකය (G.C.E O/L) ලබා ගන්නා තුරු වත් සිය අධ්‍යයන කටයුතු කරගෙන යන ලෙසයි. නමුත් දුප්පත් ආර්ථිකය, ආහාර හිඟය, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන පහසුකම්, පාසල් ද්‍රව්‍ය නොමැතිකම, සුදුසුකම් ලත් ගුරුවරුන් හිඟකම සහ ගැටුම් ඇති වූ ප්‍රදේශ යනාදි යම් යම් කරුණු හේතුවෙන් ඇතැම් සිසුන් හට 9 ශ්‍රේණිය හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ තෙක් වත් තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. මේ නිසා ඔවුන් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ, උගතුන් ලෙස නොපිළිගැනේ. මෙම සිසුන් ශ්‍රම බලකායට ඇතුළත් වන්නේ අවශ්‍ය කුසලතා හෝ වෘත්තීය පුහුණුවක් නොමැතිව ය. එමනිසා මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.